වසරකට පසු සහරාන් කල්ලියේ සැකකරු වමාරපු තොරතුරු මත පුහුණු කඳවුරක් ත්‍රී/මලයෙන් අල්ලයි.

04/28/2020

මාවනැල්ලේ පදිංචිකරුවෙක් වන කෝටිපති ව්‍යාපාරිකයෙකුගේ ඉඩමක පාස්කු ප්‍රහාරයට සම්බන්ධ සහරාන්ගේ පුහුණු කඳවුරක් ත්‍රීකුණාමලය මුතූර් ප්‍රදේශයෙන් පාස්කු ප්‍රහාරයට වසරකට පසු සොයා ගැනීමට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව සමත් වී ඇත. එම පුහුණු කඳවුර ගැන තොරතුරු හෙළිවී ඇත්තේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු අත්අඩංගුවේ සිටින මරාගෙන මැරෙන ප්‍රහාරයකට සූදානමින් සිටි සහරාන්ගේ කල්ලියේ ප්‍රධානියෙකුගෙන් කළ දීර්ඝ ප්‍රශ්න කිරීම්වලදීය.

එම පුහුණු කදවුර පිහිටි භූමිය අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ විශේෂ පොලිස් කණ්ඩායමක් විසින් ඉකුත්දා පරීක්ෂාවකට ද ලක්කර තිබේ.

එම කඳවුර පිහිටි භූමිය කුකුළු සහ එළු පාලනය කරන ගොවිපොළක් බවත් එය අක්කර 15 ක් පුරාවට විහිදුණු භුමියක් බවත් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ උසස් නිලධාරියෙක් ඊයේ (27) සදහන් කළේය.

සහරාන්ගේ මෙම පුහුණු කඳවුරේ දී තරුණයින්ට ගිනි අවි භාවිතය පිළිබදව පුහුණුව ලබා දී ඇති බව ද අනාවරණය වී ඇත. පුහුණුකරු ලෙස කටයුතු කර ඇත්තේ මාවනැල්ලේ බුදු පිළිම හානි කිරීම්වලට සම්බන්ධ ප්‍රධාන සැකකරුවන් වන අයියා මලෝ දෙදෙනා අතර සිටි සාදික් නැමැත්තා බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව කරුණු හෙළිකරගෙන තිබේ. පාස්කු ප්‍රහාරයත් සමග අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු අත්අඩංගුවට පත්වුණු සාදික් වසරක කාලයක් තිස්සේ සිටින්නේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු භාරයේය. මෙම ගොවිපොළේදී තරුණයින්ට ගිනි අවි පුහුණුව මුලින්ම ලබාදී ඇතැයි අනාවරණය වී ඇත්තේ සාදික් නැමැත්තා සිරියාවට ගොස් අයි.එස්. පුහුණුව ලබා මෙරටට පැමිණි 2014 වසරේදීය. ඔහු විසින් මුලින්ම ගිනි අවි භාවිතය ගැන පුහුණුව ලබාදී ඇත්තේ මාවනැල්ලේ තරුණයින් 05 දෙනෙකුටය. ටී 56 ගිනි අවියක් කොටස්වලට ගලවා එය සවි කිරීමටද එහිදී එම තරුණයින්ට පුහුණුව ලබා දී ඇතැයි ද අනාවරණය වී තිබේ.

එම තරුණයින්ව ද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් විසින් හඳුනාගෙන ඇත. ඒ වන විටත් ඔවුන් පාස්කු ප්‍රහාරයට සැකපිට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු අත්අඩංගුවේ සිට ඇත. එහෙත් මෙම කඳවුර ගැන හෝ එහිදී පුහුණුව ලැබූ බවක් ඒ අය එතෙක් කළ ප්‍රශ්න කිරීම්වලදී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු නිලධාරීන්ට හෙළිකර නැත. ඒ අනුව නැවතත් ඔවුන්ගෙන් ප්‍රශ්න කිරීමේදී මූතූර් කඳවුර සහ එහි ලැබූ පුහුණුව ගැන කරුණු හෙළිකර තිබේ.

Create your website for free! This website was made with Webnode. Create your own for free today! Get started